Header Ads

test

ශ‍්‍රී ලංකාව පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් සොයයි.

ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගයේදී අති විශිෂ්ට ජයක් ලැබූ ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් සොයමින් සිටියි. ඒ අනුව අද (07 දා) දෙරට අතර දෙවැනි තරගය ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා පිල ඊයේ සවස්වරුවේද පුහුණුවීම්වල නිරත වෙමින් පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක් උදුරා ගැනීමට මාන බලමින් සිටියි. කණ්ඩායමට අලූතින් පැමිණි ක‍්‍රීඩකයන් දක්ෂතා දැක්වීම හේතුවෙන් අද තරගයේදී ලොකු වෙනසක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා පිල උත්සහ නොකරනු ඇත. නමුත් සංචිතයේ සිටින සියලූම ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලබාදීමටද ක‍්‍රිකට් තේරීම් කමිටුව උත්සහ කරමින් සිටියි. කෙසේ වෙතත් ජයග‍්‍රාහී සංචිතය අද තරගය සඳහා වෙනසක් නොවනු ඇතැයි ඊයේ පැවැති පුහුණුවීම්වලදී අනාවරණය විය.

පළමු තරගය ජය ගැනීම වෙනුවෙන් මුල සිටම කණ්ඩායමේ දැඩි විශ්වාසයක් තිබු බවත් එම ජයග‍්‍රහණයත් සමග අද පැවැත්වෙන තරගයද ජය ගනිමින් තරගාවලි ජයග‍්‍රහණය උදුරා ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින බවත් විස්සයි විස්ස නායක දසුන් ශානක පවසයි.

‘‘තරගයට එන්න කලින් ඉඳලම කණ්ඩායමේ හැමෝගෙම ලොකු විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා. අපි තරගයට එන්න කලින් සැලසුම් කළ ආකාරයට සියලූ දේම සිදුවුණා. ඉතිරි තරග දෙකත් මේ විදිහටම සැලසුම් කරමින් ජයග‍්‍රහණ කරන්න පුළුවන් මානසිකත්වයක් අපිට තියෙනවා.’’

පාකිස්තානය පළමු තරගය ලකුණු 64 කින් පරාජයට පත්වෙද්දී ශ‍්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව විස්සයි විස්ස තරගයකදී ලද ඉහළම ජයග‍්‍රණය, වසර හයකට පසුව පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගයක් ජය ගැනීම සහ පළමු වරට පාකිස්තානයේදී විස්සයි විස්ස තරගයක් ජය ගැනීම යන වාර්තා සියල්ලම එම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකාව ඉදිරියේ සටහන් විය.

‘‘අපි එක්දින තරග දෙකත් හොඳට කරලා තමයි විස්සයි විස්ස තරගාවලියට ආවේ. අපිට එක්දින තරග ජය ගන්න බැරි වුණේ දඟ පන්දු යවන්නෙක් මැදින් ඇවිල්ලා කඩුලූ අරන් දුන්නෙ නැති එක නිසා. නමුත් පළමු තරගයේදී අපිට ඒ දේ වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන් කරලා දුන්නා. අපි බැට් කරලා ඉවර වුණහම මට හිතුණා ලකුණු 10-15 ක් තව මදිවෙයි කියලා. ඒත් පන්දු යවන අවස්ථාවේ තණතීරුවේ පන්දුව පහළින් යන ගතියක් තිබ්බා. අපේ සියලූම පන්දු යවන්නන් හොඳින් පාකිස්තාන පිතිකරුවන්ව පාලනය කළා.’’ යැයි දසුන් ශානක පවසයි.

පාකිස්තාන් සමස්ත කණ්ඩායම ක‍්‍රීඩා කර ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 402 කි. ශ‍්‍රී ලංකා පිලේ සමස්ත විස්සයි විස්ස ජාත්‍යනතර තරග එකතුව 128 කි. නමුත් කිසිදු පීඩනයක් නොමැතිව මෙන්ම පළපුරුදු සංයුතියක් මෙන්ම දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පිල සත්කාරකයන්ව පරාජයට තල්ලූ කර දැමුවේය. පසුගිය කාලයේදී ක‍්‍රීඩකයන්ට අවස්ථාව එකදිගට ලැබුණේ නම් ඔවුන් දක්ෂතා දක්වන බවද ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයා පවසයි.

‘‘අපේ ක‍්‍රීඩකයන් දක්ෂයි. ඔවුන්ට පසුගිය කාලයේ එකදිගට අවස්ථාව ලැබුණෙ නැති නිසා තමයි තරග ජය ගන්න බැරි වුණේ. මම හිතනවා මේ කණ්ඩායම ඉතාමත් හොඳින් තමන්ට ලැබුණ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා කියලා. භානුක රාජපක්ෂ පළමු තරගයේදීම පෙන්නුවා ඔහුට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා. ඒ වගේම ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප‍්‍රනාන්දු මුලින් කඩුලූ නොදී පැවැත්වූ සබඳතාව (84) නිසා තමයි අපේ පැත්තටම මුලින්ම තරගයේ වාසිය ආවේ. පාකිස්තානය අංක එකේ කණ්ඩායම වුවත් ඔවුන් ගැන අපේ පන්දු යවන්නෝ හොඳ විශ්ලේෂණයක් කරලා තමයි තරගයට ආවේ.

තරගයේ වීරයා වු ධනුෂ්ක ගුණතිලක දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය ලබා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු අවසන් එක්දින තරගයේද වීරයා සම්මානය දිනා ගත් අතර අද තරගයේදීද ඔහුගේ පිති ප‍්‍රහාරය ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණයට තීරණාත්මක සාධකයක්ව තිබේ.

අසේල විතාන ලාහෝර් සිට - Divaina

No comments