Header Ads

test

ඔත්තුකරුට රේගුව දුන් තෑගි මුදලින් ලක්‍ෂ 75 ක් නාකොටික් අයිපී උස්සලා,එස්අයි උදාර මත්ද්‍රව්‍ය තොග පිටින් කුඩු ජාවාරමුන්ට බෙදලා


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන පොලිස් පරීක්‍ෂක තාරක සුබෝධ නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ඔත්තුකරුවකුට ශ‍්‍රී ලංකා රේගුවෙන් ත්‍යාග ලෙස ලබාදුන් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්‍ෂයක මුදලින් රුපියල් ලක්‍ෂ 75 ක් ආපසු ලබාගෙන ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාවක් මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දී තිබේ.

 කලක් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති එකී ඔත්තුකරු 2016 වසරේ සිට 2019 වසර දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම කටුනායක ගුවන්තොටුපළ හරහා නීති විරෝධී ලෙස රත්තරන් කිලෝ 20 ක් ගෙන්වීම සම්බන්ධයෙන් ද තොරතුරු ලබාදී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

 සාර්ථක වැටලීම් සිදුකළ එකී තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රේගුව විසින් එම ඔත්තුකරුට රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්‍ෂයක ත්‍යාග මුදලක් පිරිනමා ඇති බවත් ඉන් පසුව පැමිණි පොලිස් පරීක්‍ෂක තාරක සුබෝධ නමැත්තා රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් ණයක් ලෙස ලබාගෙන ඇති බවට ඔහු ප‍්‍රකාශයක් ලබාදී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 21 වැනිදා ඉදිරිපත් කළ සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

 මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, අවි ආයුධ රැුස්කිරීම හා මනුෂ්‍ය ඝාතන සඳහා ආධාර අනුබලදීම, ඒ සඳහා සැලසුම් කිරීම හා කුමන්ත‍්‍රණ සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම සහ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප‍්‍රශ්න කරන උප පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග පේ‍්‍රමසිරි නමැත්තා සිය පෞද්ගලික වාහනවලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලබාදෙන මත්ද්‍රව්‍ය තොග පිටින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර පරවි සුදා හා ලොකු යන අන්වර්ථ නාමවලින් හඳුන්වන ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී ඇතැයි ද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

 එලෙස මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම සඳහා උප පොලිස් පරීක්‍ෂක උදාර පේ‍්‍රමසිරි නමැත්තාගේ පෞද්ගලික වාහන යොදාගෙන ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ පසු කඳාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයකින් කිලෝ 50 කට ආසන්න ප‍්‍රමාණයක් සිය නිවසට රැුගෙන ගොස් උඩු මහලේ සඟවාගෙන සිට එකී හෙරොයින් තොගය මෙන්ම ඔහු ඇතුළු සැකකාර නිලධාරීන් පිරිසක් මීගමුව හා ඒ අවට ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කර තිබූ හෙරොයින් තොග යළි එක්රැුස් කර මහව ප‍්‍රදේශයට ගෙන ගොස් සඟවා ඇති බවත් විමර්ශන නිලධාරීන් එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

 සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේම සේවය කරන නිලධාරියකුගේ නිවසේ ගබඩාවක සඟවා තිබූ එකී මත්ද්‍රව්‍ය තොගය පසුව සිය වෑන් රථයේ පටවාගෙන පැමිණ වෑන් රථය සමග මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි සිය හිතවතෙකුගේ නිවසේ සඟවාගෙන සිට 2020 ජුනි 18 වැනිදා මහරගම ප‍්‍රදේශයට රැුගෙන විත් වෑන් රථය සමගම ලොකු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ලබාදී තිබූ බවත් ඔහු සමග සේවය කළ පොලිස් නිලධාරීන් ලබාදුන් ප‍්‍රකාශ අනුව පෙනී යන්නේ යැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.
-Divaina

No comments