Header Ads

test

තේරීම් කමිටු මාරු කළාට තරග දිනන්න බැහැ.

 

තේරීම් කමිටුවේ නිලධාරීන් මාරු කළද, කෙතරම් නව කමිටු පත් කළද, තරග දිනීමට නම් කී‍්‍රඩකයන් දක්ෂතා අතරට පත්විය යුතු බවත් කී‍්‍රඩකයන්ට දක්ෂතා අතරට එ්මට මනස නිරවුල්ව තබා ගතු යුතු බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් මහතා පවසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන මුත්තයියා මුරලිදරන් මහතා, වර්තමාන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ ආකල්ප අභිපේ‍්‍රරණය කිරීම සඳහා පැවැති වැඩසටහනකදී මේ බව කියා සිටියේය.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී මනස යහපත් ලෙස තබා ගැනීම ඉතා වැදගත් බව මෙම වැඩසටහනේදී පෙන්වා දුන් ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලූ ලාභියාගේ වාර්තාවට හිමිකම් කියන මුත්තයියා මුරලිදරන් මහතා, මනස හරියාකාරව තබා නොගෙන මොන දේ කළද ඉන් ඵලක් නොවන බව පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලි ”මේ හැම දේටම වැදගත් වෙන්නේ මනස. මනස හරියට තියාගන්න බැරි නම් මං හිතන් නෑ අපි කොච්චර දක්ෂ පුහුණුකරුවන් ගෙනාවත් වැඩක් නෑ. පුහුණුකරුවෝ නොවෙයි ක‍්‍රිකට් ගහන්නේ. ඔයාලයි. ඔයාලා තමයි 90% ක්ම පිළිතුරු දෙන්න ඕන. නැතුව එළියේ ඉන්න කට්ටියට, ක‍්‍රිකට් බෝඞ් එක මාරු කරා කියලා ඕකට පිළිතුරු දෙන්න බෑ. අපි කොච්චර කමිටි දැම්මත් අපිට ඇවිල්ලා මෙතන ක‍්‍රීඩා කරන්න බෑ. ඔයාලා තමයි ආකල්පමය වෙනසක් සමඟ ක‍්‍රීඩා කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අලූත් ක‍්‍රීඩකයන් ටිකක් කණ්ඩායමට ගෙනල්ලා ක‍්‍රීඩා කරවන එක. එතකොට ඒ ටික හරි අලූතින් හැදෙයිනේ. ඒක නිසා මම කියන්නේ මොන දේ වුණත් ඔයාලා හෙල්ලෙන්නේ නැතුව තමන්ගේ යුතුකම හරියට කරන්න. එහෙම වුණොත් යළිත් අපි හිටපු පරණ තත්ත්වයටම ආයිත් එන්න පුලූවන්’ යැයි සඳහන් කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මුරලිදරන් මහතා, ”මෙතැනදී අවශ්‍ය වන්නේ ඔයාලා දක්ෂතා අතරට පැමිණීමයි. පිතිකරුවෙක් එයාගේ කැරියර් එක ඉවර වෙන කොට ශතක 30 ක් හෝ 40 ක් ගහලා තියෙන්න ඕන. අන්න එහෙමයි අපි ප්ලෑන් කළේ. එහෙම නැතුව නිකං නමට ගහලා වැඩක් නෑ. ඔයාලා එකලොස් දෙනා එහෙම ඉඳලා කරනකොට අඩුම ගානේ 60% ක් විතර තරග දිනන්න පුළුවන් වෙනවා. මම කියන්නේ නෑ 100% ක් දිනන්න කියලා. එහෙම කරන්නත් බෑ. මොකද අනිත් අයත් පුහුණුවීම් කරනවා. වගේම දක්ෂයි. නමුත් ඔයාලා උපරිම බලන්න ඕන එතනට ගියහම දක්ෂතා දක්වන්න අවස්ථාව ගන්න. ඔයාලා ඒ අවස්ථාවගන්නේ නෑ’’ යි සඳහන් කර සිටියේය.

ජාතික පුහුණු සංචිතයට ඇතුළත් කොට තිබෙන ක‍්‍රීඩකයන් 36 දෙනාගෙන් ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු සියලූම ක‍්‍රීඩකයන් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ. ක‍්‍රීඩකයන්ට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සහ ක‍්‍රිකට් ආයතන ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතාද සහභාගිවී සිටියහ.

-Divaina.

No comments