#Ads.txt cnnlanka.comssp.adstudio.cloud,765,DIRECT ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා,රට ඉතාම භයානක තත්වයක. - .

Header Ads

test

ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා,රට ඉතාම භයානක තත්වයක.

රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් බලශක්ති ඇමැති, පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය:- සපුගස්කන්දත් වැහුවා. මොකක්ද මේ රටේ වෙන්නේ?

පිළිතුර:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින බව මේ වන විට මුළු ලොවම දන්නා කාරණයකි. ඒ බව මුලින්ම රටට කීවේ මා බව සිහිපත් කරන්න කැමැතියි. අපට විදේශ විනිමය සීමිත නිසාම රට වෙනුවෙන් තීන්දු ගන්න සිදුවී තිබෙනවා. අපේ තෙල් පිරිපහදුව පැරැණි නිසාම තෙල් පිරිපහදුවේ බොරතෙල් බැරලයක් පිරිපහදු කළාම ඩීසල් පැට්‍රල් හා භූමිතෙල් නිෂ්පාදනය වෙන්නේ සියයට 43 යි. වෙනත් විදියකට කියනව නම් පැට්‍රල් ඩීසල් බැරලයක් හද‌ාගන්න අපට බොරතෙල් බැරල් 2.32 ක් අවශ්‍යයි. තෙල් පිරිපහදුවේ සියයට 35 ක්ම හැදෙන්නේ දැවි තෙල් හා නැප්තා. මේ දිනවල හොඳින් වැස්ස තිබෙන නිසා විදුලිබල මණ්ඩලය දැවිතෙල් හා නැප්තාවලින් විදුලිය නිෂ්පාදනය කරන්නේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට දැවිතෙල් මෙට්‍රික් ටොන් 13,500 ක් අපේ ටැංකිවල ගබඩා කරගෙන බලාගෙන ඉන්නවා. ගෑස් ගේන්න. කිරිපිටි ගේන්න. සිමෙන්ති ගේන්න ඩොලර් නැති අවස්ථාවක ටැංකි වල ගබඩාකරගෙන ඉන්න දැවි තෙල් නිෂ්පාදනය කරන්න විදේශ විනිමය පාවිච්චි කිරීම ඇත්තෙන්ම අපරාධයක්. ඒ නිසා තමයි අපි බොරතෙල් පිරිපහදු කිරීම නවත්වලා පෙට්‍රල් හා ඩීසල් සෘජුවම ආනයනය කරන්න තීරණය කළේ.

ප්‍රශ්නය:-කොහොමහරි ඔබේ කාලෙදි තෙල් පෝලිම් පවා හැදිලා?


පිළිතුර:- ඒක අවාසනාවට තෙල් සංස්ථාවෙන් මීට වසර හතරකට පෙර විශ්‍රාම ලැබූ කම්කරුවෙක් තමන්ට කරන්න වෙනත් වැඩක් නැති නිසා වරින්වර මාධ්‍ය හමු පවත්වලා රටේ තෙල් හිඟයක් ඇතිවන බවට පවසනවා. හතරපාරක් ඔහු ඒ පට්ටපල් බොරුව රටට කිව්වා. ඔහුට මාධ්‍ය වලින් වෙන්කර තිබෙන ඉඩ අවභාවිත කරලයි මේ බොරුව සමාජගත කරන්නේ. ඔහු ගැන නොදැන සිටියත් තමන් ආදරය කරන මාධ්‍ය විශ්වාස කරලා ජනතාව ඉන්ධන පිරවුම් හල් කරා දුවනවා. රටේ සියලුම දෙනා එකම මොහොතේ ඉන්ධන ලබාගන්න පැමිණියාම නිකම්ම පෝලිමක් ඇතිවෙනවා. ඒ වගේම වෙනදට රුපියල් පන්සියයක, ද‌ාහක ඉන්ධන මිලදී ගත්ත අය ටැංකිය පිරෙන්න ඉන්ධන මිලදී ගන්නවා. පිරවුම් හලේ ඉන්ධන අවසන් වීමෙන් තාවකාලිකව ඉන්ධන හිඟයකුත් ඇති වෙනවා. ඒ හිඟය උපරිමයෙන්ම තියෙන්නේ දින දෙකයි. බවුසර්වලින් තෙල් බෙද‌ා හැරියම ඒ ප්‍රශ්නය විසඳෙනවා. එහෙම හැරුණු විට සැබෑ තෙල් හිඟයක් රටේ නෑ.


ප්‍රශ්නය:- රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙන්න තීරණය කළේත් රසායනික පොහොර ගෙන්වන්න ඩොලර් නැති නිසා.


පිළිතුර:- මම හිතන්නේ නෑ රසායනික පොහොර හා ඩොලර් හිඟය අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද ඉන්ධන සඳහා මාසෙකට යනවා ඩොලර් මිලියන 350 ක්. රසායනික පොහොර සඳහා වසරකට වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 300 යි. වසරකට ඩොලර් මිලියන හාරදහසක් වෙන්කරන්න පුළුවන් නම් ජනතාවගේ ප්‍රධාන ආහාරය සඳහා ඩොලර් මිලියන 300 ක් වැය කිරීමේ අපහසුතාවක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මීට වඩා දේවල්වලට අපි මුදල් වැයකරනවා. නමුත් මෙතැන ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබා දුන්න පොරොන්දුවක් ඉටුකිරීමටයි රසායනික පොහොර භාවිතය නතර කළේ. නමුත් අවාසනාවකට ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එය වසර 10 ක් තුළ කරන්න පොරොන්දු වුණත් එය එක්වර කිරීමට උත්සාහ කිරීමෙන් අවුලක් පැන නැගී තිබෙනවා.


ප්‍රශ්නය:-ඩොලර් ප්‍රශ්නය උග්‍රවෙන්න ඇරලා ආණ්ඩුව උඩ බලාගෙන හිටියා?


පිළිතුර:- නෑ. අපේ රට ජේත්තුකාර රටක්. අපි 1978 සිටම අපනයනය කරලා උපයන ඩොලර්වලට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට වියදම් කරනවා. සාමාන්‍යයෙන් මේ පරතරය ඩොලර් බිලියන 8 ක්. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් හා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්වලින් ඒ පරතරය පියවා ගත්තා. නමුත් කොවිඩ් වසංගතය සමග සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණා. ඒ වගේම ශ්‍රමිකයන් විදෙස් ගතවීම වෙනුවට රැකියා අහිමිවෙලා ඔවුන් ලංකාවට එන්න පටන් ගත්තා. මේ නිසා ආනයන හා අපනයන ආද‌ායම අතර පරතරය පියවා ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ. සරළවම කිව්වොත් හැමද‌ාමත් ඒ පරතරය තිබුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඩොලර් අහිමිවීම නිසා මේක අර්බුදයක් බවට පත්වුණා.


ප්‍රශ්නය:-රට විවෘතව තිබුණත් ඩොලර් ප්‍රශ්නය නිසා ඔවුන්ට තමන්ගේ කර්මාන්ත කරගෙන යන්න බැරි තත්ත්වයක් උද‌ාවෙලා. ආණ්ඩුව විසඳුම් දෙන්නෙත් නෑ?


පිළිතුර:- ඇත්තටම උත්තරයක් හොයන්න තිබුණා මේක දේශීය ප්‍රශ්නයක් නම්. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ඔබ දන්නවා චීනයේ ප්‍රාන්ත 11 ක කර්මාන්ත ශාලා වැඩ කරන්නේ සතියට දවස් දෙකයි. බලශක්ති අර්බුදය නිසා ලෝකයේ නිෂ්පාදනය කඩා වැටුණාම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් ඇති වෙනවා. එක පැත්තකින් විදේශ විනිමය නිසා අමුද්‍රවය ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ලෝක වෙළඳපොළේ භාණ්ඩ හිඟය නිසාත් අමුද්‍රවය හිඟයක් ඇතිවෙලා තියෙනවා.


ප්‍රශ්නය:-ප්‍රශ්න රටට කියලා වැඩක් නෑ. ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න විසඳන්නයි?


පිළිතුර:- ඇත්තටම ආණ්ඩුවට විසඳන්න පුළුවන් ප්‍රශ්නත් තියෙනවා. බැරි ප්‍රශ්නත් තියෙනවා. මිනිස්සු වයසට ගිහින් මිය යනවා. ඒකට විසඳුමක් දිය හැකි ආණ්ඩුවක් ලෝකේ කොහේවත් නෑනේ. ඒ වගේ මේ මොහොතේ ලෝකය තිබෙන්නේ බරපතළ අර්බුදයක. ඒ අර්බුදය තුළ ඔබ දන්නවා එංගලන්තයේ පැට්‍රල් හිඟයක් ඇති වුණා. ලෙබනනය ඩීසල් හිඟය නිසා දවස් පහක් අදුරේ ඉන්න වුණා. චීනයේ ප්‍රාන්ත තුනක් අඳුරේ තැබුවා. ඉන්දියාවේ නවදිල්ලියේ මහ ඇමැති එරට අගමැතිවරයාට ලිපියක් යවමින් කිව්වා ‘ඔබතුමා මැදිහත් නොවුණොත් නවදිල්ලි අගනුවර නුදුරු දිනයකදී අඳුරේ තැබීමට සිදුවෙනවා’ කියලා. එතකොට ලෝකයේ බලවත් රටවල් වලට පවා මේ බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න බැරිවෙලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ තෙල් නිපදවන්නෙත් නෑ. තෙල් මිලදී ගැනීමට ඩොලර් ඇත්තෙත් නෑ. ගබඩා කරන්න ප්‍රමාණවත් පහසුකම් ඇත්තෙත් නෑ. නමුත් අපි මේ දක්වා අඛණ්ඩව ඉන්ධන සැපයුමක් සහතික කර තිබෙනවා. ඉතින් මේ ලෝක අර්බුදය හමුවේ අපේ ජයග්‍රහණ ගැනත් අපි කතා කළ යුතුයි. එන්නත්කරණයේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට අපේ රට පත්වෙලා තියෙනවා. අපේ රටේ එන්නත් නිපදවන්නෙත් නැ. ඒ වගේම පිටරටින් එන්නත් ගේන්න ඩොලර් ඇත්තෙත් නෑ. එහෙම තිබියදී එන්නත් නිපදවන රටවලටත් වඩා අපේ එන්නත්කරණය සාර්ථක වෙලා තිබෙනවා. අපේ රට අනෙක් රටවල්වලට සාපේක්ෂව මේ අර්බුදයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. අපේ රටේ මූල්‍ය අර්බුදයක් ඇති වුණේ 2017 සිටයි. හැබැයි මූල්‍ය අර්බුදය මැදට කොවිඩ් අර්බුදය ආව නිසා අපේ රටේ ආර්ථික අර්බුදය තීව්‍ර වුණා. එවැනි පසුබිමක මේ මට්ටමින් ආණ්ඩුව කරගෙන යාමත් ජයග්‍රහණයක්.


ප්‍රශ්නය:-ඩොලර් හිඟය පියවන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැනත් ආණ්ඩුවේ මත ගැටුම් ඇතිවෙලා?


පිළිතුර:- මාගේ මතය වන්නේ අපට ප්‍රමාණවත් මට්ටමින් ඩොලර් උපයා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නොමැති නම් ජනවාරි මාසයේ ලොකු අර්බුදයකට යනවා. 2022 වසරේ අපි ඩොලර් බිලියන 7ක් විදේශ ණය ගෙවීමට අවශ්‍යයි. ජනවාරි මාසයේදී පමණක් ඩොලර් බිලියන 15 ක් අවශ්‍යයි. ඒ නිසා ඒ මුදල හොයාගන්න බැරිවුණොත් අපි අසරණ වෙනවා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් යන්නේ ඇවිදගෙන. අපට ඔවුන්ගේ කොන්දේසි ගැන කේවල් කරන්න පුළුවන්. හැබැයි ජනවාරි මාසෙදි අපි ගියොත් යන්න වෙන්නේ දණින් වැටිලා. ඔවුන් ඉදිරියේ කේවල් කරනවා වෙනුවට ඔවුන්ගේ කොන්දේසි බාර අරගෙන තමයි සහන ලබාගන්න වෙන්නේ. ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට කිව්වේ මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩයෑමට මුදල් අමාත්‍යාංශයට වැඩපිළිවෙලක් තියෙනවා නම් හොඳයි. එහෙම නැතිනම් අපි වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි. ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ අපි අසරණ වෙලා දුර්වල වෙලා ඔවුන් ඉදිරියේ දණින් වැටීමටයි. ඒකේ ප්‍රතිඵල ඉතා භයානකයි කියලා.


ප්‍රශ්නය:-ඇමැති වාසුදේව නානායක්කාර කිව්වේ ‘නෑ අපි යන්නෙම නෑ’ කියලයි?


පිළිතුර:- නොයා හිටියට කමක් නෑ. අයිඑම්එෆ් එකේ සහයෝගය ලබා නොගෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අපට වැඩපිළිවෙලක් තියෙනවා නම්. එහෙම නම් ගොඩක් හොඳයි. වැඩපිළිවෙලක් නැතිව නිකම් බලාගෙන හිටියොත් නම් මීටත් වඩා අපි අසරණ වෙනවා.


ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය කුමක්ද?


පිළිතුර:- මුදල් ඇමැතිතුමා ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළේ නෑ. එතුමා අයිඑම්එෆ් එකෙන් ඉදිරිපත් විය හැකි කොන්දේසි පිළිබඳව සිහිපත් කළා.


ප්‍රශ්නය:-මොනවද ඒ කොන්දේසි?


පිළිතුර:- සහනාධාර කප්පාදු කරන්න වෙයි. රාජ්‍ය සේවය කුඩා කරන්න වේවි. රාජ්‍ය දේපොළ විකුණන්න වේවි. මේවා තමයි පැමිණිය හැකි කොන්දේසි. එතැනදී මම කිව්වේ ජනවාරි වෙනකම් හිටියොත් අපට ඔය කොන්දේසි ඉදිරිපිට දණ ගහන්න වේවි කියලයි.


ප්‍රශ්නය:-අයවැය ‘පුස් වෙඩිල්ලක්’ කියලයි විපක්ෂය කියන්නේ?

පිළිතුර:- අපි තේරුම් ගන්න ඕනෑ ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක මොහොතක ඉදිරිපත් කළ අයවැයක්. ඒ නිසා මේ අයවැය තුළ ජනතාවට සහන දෙන්න නම් ආණ්ඩුව කොහොම හරි සල්ලි ගේන්න ඕනෑ. ඔබ දන්නවා කොවිඩ් වසංගතයෙන් පස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආද‌ායම අනපේක්ෂිත ලෙස සියයට 8 දක්වා පහත වැටුණා. ඉතාම භයානක තත්ත්වයක්. ආණ්ඩුවට ජනතාවට බදු ගහන්න බෑ. ජනතාව ඉන්නේ දුප්පත් කමින් මිරිකිලා. ව්‍යාපාරිකයන් ඉන්නේ ව්‍යාපාර කරගෙන යන්න බැරිතරම් අසරණව. ඔවුන්ට තවත් බදු ගැහුවොත් ව්‍යාපාර කඩා වැටුණොත් තවත් විශාල පිරිසකට රැකියා අහිමි වෙයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට දෙන්න කාගෙන්ද ගන්නේ? එහෙම ප්‍රශ්නයක් මෙතැන තියෙනවා. කොහොම වුණත් ඉතාම ඉක්මණින් මේ තත්ත්වය යහපත් අතට පරිවර්තනය වෙයි කියලා අපි හිතනවා.

සාකච්ඡා කළේ

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

– lankadeepa

No comments